වානර මූකලාන - (1)
*අලුවා කෑම.
වානර මූකලාන නම් ගමෙහි විසූ පේරැස් සිංඤෝ ගේ ලේලිය වන කමලා නිතර කිලිටි ඇඳුමින් සැරසුණු, අවශ්‍යතාවක් නොමැති වුවද සිය නිවස ඉදිරිපිට ඇති මාර්ගය ඔස්සේ කිසිදු අරමූණකින් තොරව නිතර දෙවේලේ ගමන් කරන තැනැත්තියක වූවාය. එසේ ගමන් කරන අතරතුර, වරින් වර සිය නිවස කරා පැමිණ ඉවුම් පිහුම් කටයුතු වල කිසියම් කොටසකින් කොටසක් ලහි ලහියේ ඉටු කිරීමෙන් පසු නැවතත් මඟට බැස ගමන් කිරීම ඇගේ සිරිත විය.
සවන් දෙන්නකු නොමැති වුවද, ඇගේ මුව'ගට පැමිණෙන සියලු වදන් වක්කඩය කැඩුවා සේ මුවින් පිටව යන බැව් ඇය නොදත්තා ය. ඇයට පුතුන් දෙදෙනකු හා දියණියක සිටි අතර ඇගේ සැමියා වූ පියරත්න, වානර මූකලානෙන් බැහැර ප්‍රදේශයක තේ වගාවක් අරඹා එහි ම කුඩා පැල්පතක් තනා වාසය කරමින් සිටි අතර නිවසට පැමිණියේ ඉඳහිට ය. කමලා හා ඇගේ දරුවන් වන කලුවා, පොඩ්ඩා හා ටිකිරි වාසය කළේ ද පියරත්නගේ මහ ගෙදර ය. පියරත්නගේ මව්පියන් වූ පේරැස් සිංඤෝ සහ කරලිනාහාමි ද මහ ගෙදර ම වාසය කළ අතර පසු කලෙක කරලිනාහාමිගේ දෑස ම අන්ධ භාවයට පත් ව තිබිණි.
එවක වයස අවුරුදු දොළහක් පමණ වු, ගයාන්ගේ නිවස පිහිටියේ එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් ය. දිනක් ගයාන් කඩ මංඩිය වෙත ගියේ, ඔහුගේ මව ඔහුට සීනි ගෙනෙන්නට කී බැවිනි. ඔහු සීනි රැගෙන පෙරළා නිවසට එන අතරමඟ දී සිරි සිරි පොද වැස්සක් ආරම්භ වූ අතර, ගයාන් ඉක්මන් ගමනින් පා නැඟුවේ වර්ෂාව අධික වීමට පෙර නිවස කරා යන අදහසිනි. නමුත්, ඔහු පේරැස් සිංඤෝගේ නිවස ඉදිරිපිටට පැමිණෙත් ම, පොද වැස්ස නොසිතූ පරිදි මහා අනෝරා වැස්සක් බවට පෙරැළුණු බැවින්, ගයාන් පේරැස් සිංඤෝගේ නිවසේ දොරකඩ අසලට දිව ගොස් සිටගත්තේය.
පේරැස් සිංඤෝගේ ලේලිය වන කමලා වහා ඔහු වෙත පැමිණ,
"වහිනව නේද ලමයො.
යන්න හැටියක් නෑ නේද"
යි පවසමින් ම නිවස තුලට ගොස්, එසැණින් ම ආපසු පැමිණියේ,
"කලුවෝ..., පොඩ්ඩෝ..... , ටිකිරියෝ... , ඉක්මනට මෙහෙට වරෙල්ලා.. තාත්තේ ... තාත්තේ... තාත්තත් ඉක්මනට එන්නෝ.... "
යනුවෙන් සිය දූපුතුන් මෙන්ම මාමණ්ඩිය ද කැඳවමිනි. එසේ හඬ නඟමින් ම ඇය නිවසේ ඉදිරිපස වෙත පැමිණි අතර, ප්‍රධාන දොරටුව අසල සිටි ගයාන් හට ද,
" ලමයෝ, ඔය ලමයත් මෙහාට ආවා නං ඉක්මනට."
යනුවෙන් පවසමින් ම ගෙතුලට දිව ගියේ, දෑතින් ම හිස ද කසමිනි. ගයාන් ද ඇය පසුපස ඔවුන්ගේ මුළුතැන්ගෙය දෙසට ගියේ ය.
" වරෙල්ලා.. මේ අලුවා පිටි ටික නිවෙන්න ඉස්සර වෙලා ඉක්මනට තලාපල්ලා..."
යනුවෙන් පවසන අතරතුර ඇය හිස කැසීම නවතා මේසය මත අලුවා කැපීමට සූදානම් කර තිබූ පිටි ගුලිය දෑතින් ම දෙතුන් වරක් තෙරපා, යලිත් මඳක් ඈත් ව සිය පසුපස පෙදෙස කසමින් ම,
"කොහෙද ලමයෝ, මට එක තැනක ඉන්න බැහැනේ, කිරිපණු ගායට කොච්චර බෙහෙත් කළාද.. හරිගියෙ නැහැනේ.. ආ ලමයෝ මේ පිටි ගුලිය තුනී කරන්නකො"
යි පැවසුවේ අසල සිටි ගයාන් හට ය. ඒ මොහොත වන විට කිලිටි සරමක් පමණක් හැඳ, සරම ඔසවා සිය පසුපස පෙදෙස කසමින් සිටි පේරැස් සිංඤෝ ද, නිවසේ මැද සාලයෙහි වැලි සෙල්ලම් බත් පිසිමින් සිටි ටිකිරි ද, වැසිකිලියේ සිට කඩිනමින් ආ කලුවා ද, කුරුම්බැට්ටි මැෂිමක් කරකවමින් සිටි පොඩ්ඩා ද, කමලාගේ කෑගැසීම නිසා, වහ වහා පැමිණ දෑත් පිරිසිදු කිරීමකින් තොරව ම අලුවා කැපීම සඳහා පිටි තුනී කරන්නට වූහ.
"හා, දැං ඇති. තාත්තා මේ අලුවා ටික කපන්නකො,"
යි, කමලා කී බැවින්, පේරැස් සිංඤෝ අලුවා කපන්නට විය.
වැස්ස තුරල් වූ පසු සිය නිවෙස බලා පිටත් ව ගිය ගයාන්, ස්වල්ප මොහොතකට පසු කිසියම් කටයුත්තක් සඳහා සිය නිවස අසල පිහිටි මහප්පාගේ නිවස වෙත ගියේය.
"ගයාන්, ඉන්න තේ ටිකක් බීලා යන්න"
යි සිය ලොකු අම්මා පැවසූ හෙයින් ගයාන් මදක් නතර වී, එදින උදේ වරුවේ
"අලුවා තැළුෑ හැටි" පැවසුවේ මහප්පාගේ නිවසේ සියල්ලන් ජුගුප්සා රසයෙන් හා හාස්‍ය රසයෙන් කුල්මත් කරමිනි.
මහප්පාගේ දූවරු හා පුත්තු සිනාසෙන්නට වූ අතර, කතාව අවසානයේදී ගයාන්,
".. -'ඉඳා ලමයො, උඹත් කාපං-'
කියලා කමලා නැන්දා මටත් කෑල්ලක් දුන්නා"
යි, පැවසුවේ, කට කොණකට නැඟුණු මඳ සිනහවක් ද සමඟිනි.
"ඈ ඕයි,.. ඉතිං තමුසෙත් කෑවද ඒවා?"
මහප්පාගේ පුතකු විසින් එසේ විමසන ලද හෙයින්,
"හ:හ.. ඔව්, නැතුව ?"
යි, කිසිදු ගණනකට නොගෙන ගයාන් පවසත් ම සියල්ලෝ ම යලිත් මහ හඬින් සිනාසෙන්නට වූහ.
—ShreeDS—

Comments
Post a Comment