*අලුවා කෑම. වානර මූකලාන නම් ගමෙහි විසූ පේරැස් සිංඤෝ ගේ ලේලිය වන කමලා නිතර කිලිටි ඇඳුමින් සැරසුණු, අවශ්‍යතාවක් නොමැති වුවද සිය නිවස ඉදිරිපිට ඇති මාර්ගය ඔස්සේ කිසිදු අරමූණකින් තොරව නිතර දෙවේලේ ගමන් කරන තැනැත්තියක වූවාය. එසේ ගමන් කරන අතරතුර, වරින් වර සිය නිවස කරා පැමිණ ඉවුම් පිහුම් කටයුතු වල කිසියම් කොටසකින් කොටසක් ලහි ලහියේ ඉටු කිරීමෙන් පසු නැවතත් මඟට බැස ගමන් කිරීම ඇගේ සිරිත විය. සවන් දෙන්නකු නොමැති වුවද, ඇගේ මුව'ගට පැමිණෙන සියලු වදන් වක්කඩය කැඩුවා සේ මුවින් පිටව යන බැව් ඇය නොදත්තා ය. ඇයට පුතුන් දෙදෙනකු හා දියණියක සිටි අතර ඇගේ සැමියා වූ පියරත්න, වානර මූකලානෙන් බැහැර ප්‍රදේශයක තේ වගාවක් අරඹා එහි ම කුඩා පැල්පතක් තනා වාසය කරමින් සිටි අතර නිවසට පැමිණියේ ඉඳහිට ය. කමලා හා ඇගේ දරුවන් වන කලුවා, පොඩ්ඩා හා ටිකිරි වාසය කළේ ද පියරත්නගේ මහ ගෙදර ය. පියරත්නගේ මව්පියන් වූ පේරැස් සිංඤෝ සහ කරලිනාහාමි ද මහ ගෙදර ම වාසය කළ අතර පසු කලෙක කරලිනාහාමිගේ දෑස ම අන්ධ භාවයට පත් ව තිබිණි. එවක වයස අවුරුදු දොළහක් පම...