අම්මා කෙලෙස, එලෙසට හැසිරියන් දුවේ...
නිම්මා නොමැති දරු සෙනෙහස කැටිව ලයේ
සම්මා සම්බුදුන් නිවසෙහි වෙසෙන සෙයේ
නම්මා යහ මගට ඈමය නුඹ හැදුවේ
අම්මා කෙලෙස, එලෙසට හැසිරියන් දුවේ...
තැප තුන්ගල් ලිපේ ගිනි කුස් පිරවූයේ
කැප නැති සුව පහස් ගැන නැත සිහි වූයේ
ඇප නැති සිරගෙයක දිවියම ගත වූයේ
සැප නොපතන සිතකි ඈ හට හිමි වූයේ...
කෑවත් නොකෑවත් ඈ කුස පිරුණි ඉබේ
නෑවත් නොනෑවත් සිත සේදුණිය ඉබේ
කීවත් නොකීවත් දුක සංසිඳුනි ඉබේ
තාමත් එදා වගෙම එම ගතිය තිබේ
උපයන සියලු දේ වැයකොට නුඹ වෙනුවෙන්
සපයන, කිසිත් නොලැබම තම සෙත වෙනුවෙන්
දෙනයන නැත තෙමුණෙ ඉඳහිට හෝ ලසොවින්
එම ගුණ වණන කිසිවකු වෙද ඈ වෙනුවෙන්...
සිය හිමි ඇතුළු පිරිවරගෙන් ඈ ලබනා
සියලුම දෑ බලා සිත රඳවා සොඳිනා
සිය ජීවිතය අනෙකකු පාමුල තබනා
සිය තීරණය ගනු, නුඹ මතු නොම තැවෙනා... DS.

Comments
Post a Comment